තරුණ ප්‍රජාව රාජ්‍ය පාලනයට දායක කර ගැනීමේ පියවර ශක්තිමත් කිරීම වෙනුවෙන් පා.ම ප්‍රේම්නාත් සී දොලවත්ත මහතා විසින් ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී යෝජනාව මේ වන විට පාර්ලිමේන්තුව වෙත යොමුකර ඇත.
පළාත් පාලන මැතිවරණයන්හි පළමු සහ දෙවැනි නාමයෝජනා ලැයිස්තුවල අවම වශයෙන් සියයට විසිපහක තරුණ නියෝජනය තහවුරු කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන මෙම කෙටුම්පතෙහි අන්තර්ඝත වන අතර මෙය 2022 ඔක්තෝබර් මස 14 වන දින ගැසට් පත්‍රයේ පලකර තිබුණි.
1990 තරුණ අසහනය පිළිබඳව සොයා බැලීමට පත්කරන ලද විශේෂ කොමිසමේ නිර්දේශවලට අනුව තරුණයන් සඳහා ප්‍රජාතන්ත්‍රවාදී නියෝජන ක්‍රමයන්හිදී වැඩි අවස්ථා ප්‍රමාණයක් සහතික කිරීමේ වැදගත්කම ඉස්මතු කර තිබූ අතර 1990 දී පළාත් පාලන ආඥා පනතට සංශෝධනයක් එක්කරමින් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් පළාත් පාලන නාම යෝජනා ලැයිස්තු සකස් කිරීමේදී සියයට හතළිහක අවස්ථා ප්‍රමාණයක් තහවුරු කිරීමට ප්‍රතිපාදන හඳුන්වා දෙනු ලැබීය.
කෙසේ වෙතත් පසුගිය සමයේදී පළාත් පාලන ආයතන වල සියයට විසිපහක කාන්තා නියෝජනය තහවුරු කිරීමත් සමග තරුණ නියෝජනය අනිවාර්ය කිරීමේ කොන්දේසිය යටපත් විය.
පසුගිය සමයේදී පා.ම ඉමිතියාස් බාකීර් මාකර් මහතා විසින්ද පළාත් පාලන, පළාත් සභා හා පාර්ලිමේන්තු යන ස්ථර තුනෙහිම තරුණ නියෝජනය වැඩිකිරීම වෙනුවෙන් කෙටුම්පතක් ඉදිරිපත් කර තිබුණි.